කට්ටිය දැන් program එක ගහල බලල ඇති නේද? මොකක් ?? මොන program එකක්ද? කවද කොහෙද කවුද ගැහුවෙ? පළවෙනි වාක්‍ය කියෙව්වම මෙහෙම හිතුණු අය මෙතනින් ගිහිල්ල මගේ කලින් ලිපිය බලල ඉන්නකෝ. ඒකෙ අපි අපේ පළවෙනි java program එක ලිව්වා මතක ඇති. දැන් ඔයාලට ඒ code එක තනියම ගහන්න පුළුවන් ඇති. ඒ විතරක් නෙමෙයි, මම දෙන ඕනෑම වාක්‍යයක් screen එකේ display කරගන්නත් පුළුවන්නෙ නේද? එහෙනම් මෙන්න මේක screen එකේ display කරන්න code එකක් ලියල compile එහෙම කරල run කරලත් බලලම එන්නකෝ මේ ලිපිය කියවන්න කලින්.
මේක තමා වාක්‍යය.....
Today, I am going to learn about the first java programme I developed.
ෂාහ්... ඔය කරල තියෙන්නෙ අපූරුවට..... මට පෙනුනේ නෑ. ඒත් ඉතිං මම දන්නව ඔයගොල්ලො දක්ෂයි කියල.
එහෙනම් අපි අපේ අද මාතෘකාවට බහිමු....ඉස්සෙල්ලම අපි code එක ගමුකො..
public class Test{
public static void main(String[] args){
System.out.println("Hello World!");
}
}
අපි මේ code එකේ මුල්ම වචනෙ ඉඳන්ම පටන්ගමු. මේකෙ මුල්ම වචනෙ තමා public කියන වචනෙ. මේක අපිට පුරුදු වචනයක්නෙ. මේකට අපි කියනව Access modifier එකක් කියල. මේ වගේ access modifiers තව කිහිපයක්ම තියෙනව. ඒව ගැන ඉස්සරහට විස්තර ඇතුව කතා කරනව. දැනට මෙහෙම හිතාගන්නකො, public කියන access modifier එක දාල තියෙන එක හැම කෙනාටම විවෘත්තයි. ඒ කියන්නෙ ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. දැන් මෙතන කාටද මේ public කියල දාල තියෙන්නෙ? ඒක දාල තියෙන්නෙ class Test කියන කෙනාට.
කවුද දැන් මේ class Test? Class එක ගැන කියන්න ඉස්සෙල්ල මම පොඩ්ඩක් ඊළඟ එක විස්තර කරල ඉන්නම්. ඔයාලට පේනව ඇති ඊළඟට මෙහෙම පේලියක් තියෙනව,
public static void main(String[] args){
මේකට අපි කියනව main method එක කියල. පස්සෙ main thread එක කියලත් කියනව. දැනට main method එක කියල මතක තියාගන්නකො. මේ main method එක program එකක තියෙන වැදගත්ම කොටසක්. මේ main method එක තමයි මුළු program එකම පාලනය කරන්නෙ. මම කිව්වනෙ JVM එක තමයි java program එකක් execute කරන්නෙ කියල. JVM එක program එක execute කරන්න පටන් ගන්නෙ මෙන්න මේ main method එකෙන්. ඔය වචන සෙට් එකට පස්සෙ සඟල වරහනක් තියෙන්නෙ, අන්න ඒ වරහනෙන් තමයි main method එක පටන් ගන්නේ. එතකොට ඔය කලින් තියෙන වචන ගැන පස්සෙ ටික ටික ඉගෙනගන්න පුළුවන්. දැනටම එකක් දන්නවනේ......... හරි එතකොට මේ main method එක පටන් ගන්නෙ ඒ සඟල වරහනෙන් නම් ඉවර වෙන්නෙ කොහෙන්ද?? මම මුලින් දාල තිබුන code එක හොඳට බලන්න මම ලානිල් පාටින් සඟල වරහන් දෙකක් highlight කරල ඇති. එකක් මම කලින් කිව්ව main method එක පටන් ගන්න වරහන. අනිත් එක තමයි ඉවරවෙන එක. ඉතිං මේ වරහන් දෙක ඇතුලෙ තමයි අපිට කරගන්න ඕන වැඩ ටික දෙන්නේ. JVM එක execute කරන්නෙ මේ main method එකනෙ.
අපි ඔය ඊලග පේලියෙන් ලියල තියෙන්නෙ අපිට කරගන්න ඕනෙ වැඩේ තමයි. ඒ කිව්වෙ මේකෙන්,
System.out.println(“Hello World!”);
මේකෙන් අපි කියල තියෙන්නෙ මොකක්ද කියල ඔයාල දැනටමත් දන්නවා. මේකෙන් කියල තියෙන්නෙ Hello World! කියන එක අපේ screen එකේ display කරන්න කියල. හොඳට බලන්න මේ පේලිය අවසන් වෙලා තියෙන්නෙ semicolon “ ;” එකකින් (තිත් කොමාවකින්). මේ වගේ තිත් කොමා වලින් අවසන් වන පේලි වලට අපි කියනව java statement එකක් කියල. අපි මේ statement භාවිතයෙන් තමයි අපිට කරගන්න ඕන වැඩේ පරිගණකයට කියන්නෙ. හුඟක් ආධුනික programmers ලට අමතක වෙන දෙයක් තමයි ඔය semicolon එක. මතක තියාගන්න හැම statement එකක්ම semicolon එකකින් අවසන් වෙන්න ඕනෙ. එහෙම නැත්තම් compile error එකක් දෙනව. මොකද ඉවර කරල නැති statement එයාට තේරෙන්නෙ නෑ. නිකන් අපි මොනව හරි ලියද්දි නැවතීමේ තිත ලියනව වගේ. මම මේ ලිපියෙත් තියන්නෙ. හැබැයි අපිට නම් ඔය තිතක් මගහැරුනොත් ලොකු අවුලක් වෙන්නෙ නෑ. අපිට හිතාගන්න පුළුවන් වාක්‍ය ඉවරයි කියල. ඒත් පරිගණකයට හිතන්න බෑනෙ. ඒ නිසා අපි හරියටම කරන්න ඕනෙ. ඔය මුලින් මුලින් කට්ටියට අමතක උනාට පස්සෙ වෙන මොනව හරි ලියද්දිත් නැවතීමේ තිත වෙනුවට තිත් කොමාව තියන තරමට programmers ල ඕකට පුරුදු වෙනව.
මෙතනදි System කියන class එකේ තියෙන standard output stream (out) එකට අයත් PrintStream.println(java.lang.String) කියන method එක භාවිත කරල තමයි මේ අපේ වැඩේ කරගන්නෙ. මෙච්චර දේවල් හිතන්න දෙයක් නෑ. මතක තියාගන්නකො මොනවහරි display කරගන්න ඕනෙ නම් System.out.println කියල පටන්ගන්න ඕනෙ කියල. එතකොට තව වැදගත් දෙයක්, ඔය println එකෙන් පස්සෙ තියෙන වරහන් දෙක මැද්දෙ double quotes (“ ”) තුල තමයි අපිට print කරගන්න ඕන දේ type කරන්න ඕනෙ.
දැන් බලමුකො class එක මොකක්ද කියල. ඇත්තටම මෙතන class එක භාවිත කරල තියෙන විදිහෙන් java වල class කියන සංකල්පය භාවිත වන විදිහ පෙන්නන්න බෑ. මේක සරල කේතයක්නෙ. මේ code එකේ class එකක් භාවිත කරල තියෙන්නෙ main method එක class එකක් තුල තියෙන්න ඕනෙ නිසා. Java වල තියෙන වැදගත්ම සංකල්ප දෙකක් තමයි class සහ object කියන්නෙ. මම සරලව පොඩ්ඩක් විස්තර කරන්නම්. හිතන්නකෝ ඔයාල කාර් හදන කොම්පැනියක ඉන්නේ කියල. සෑම කාර් එකකම දල වශයෙන් සමානකම් තියෙනවනෙ. එන්ජිමක් තියෙනව, රෝද තියෙනව, සීට්...තව එක එක දේවල් තියෙනවනෙ. ඔන්න ඔය හැම එකටම පොදු දේවල් තියෙන නිකන් plan එක වගේ එකක් තමයි class එකක් කියන්නෙ. එතකොට ඔයා කාර් එකක් හදනකොට ඔයාට අවශ්‍ය values දීල ඔයාට අවශ්‍ය ජාතියේ කාර් එකක් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට කාර් එකෙන් කාර් එකට එන්ජින් එකේ සිලින්ඩර් ගාන, engine capacity එක, Suspension වල damping ratio එක සීට් ගාන, පාට වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්නේ. ඒ වගේ විශේෂිත එකක් තමයි object එකක් කියන්නෙ. දැනට ඔය ඇති.
දැන් අර main method එකට වගේම class එකත් ලියන ක්‍රමයක් තියෙනව. මුලින්ම access modifier එකක් තියෙනවනම් ඒක ලියල class කියල ලියල class එකට නමක් දෙන්න ඕනෙ. මේ program එකේ අපේ class එකේ නම තමයි Test. ඊට පස්සෙ තියෙන සඟල වරහනෙන් තමයි class ඒක පටන් ගන්නෙ. උඩින්ම දාපු code එකේ මම කොළ පාටින් highlight කරල ඇති. කොළපාටින් highlight කරල තියෙන අනිත් වරහනින් තමයි class එක ඉවර වෙන්නෙ. ඒ වරහන් දෙක මැද්දේ තියෙන දේවල් තමයි class එකට අයත් වෙන්නෙ. මෙතන class එකේ නම ගැන කතාකරද්දි පොඩි වැදගත් දෙයක් කියන්න තියෙනව. මතක ඇති මම කලින් ලිපියෙ කිව්ව ඔයාලගෙ source code එක Test.java කියලම save කරන්න කියල. ඒකට හේතුව පස්සෙ කියන්නම් කියලත් කිව්වනෙ. දැන් කියන්න තමයි යන්නෙ. මේ java program ලියද්දි නීති කිහිපයක් තියෙනව. ඒවට අනුකූලව තමයි අපි program එක ලියන්න ඕනෙ. ඉතිං එක නීතියක් තමයි source code එකක public class එකක් තියෙනවනම් ඒ class එකේ නමම source code එකේ නම විදිහට දන්න ඕනෙ කියන එක. අන්න ඒ නිසයි මම ඔයාලට Test.java කියලම save කරන්න කිව්වේ. ඕනෙනම් ඔය public කියන එක මකල දාල වෙන නමකින් save කරන්න හරි, class එකට වෙන නමක් දන්න හරි පුළුවන්. කරලම බලන්නකො...
අන්තිමට කියන්න තියෙන්නෙ අපි මේ program එක ලියල තියෙන විදිහ ගැන. මුලින්ම බලන කෙනෙක්ට අමුතු විදිහට තමයි පේන්නෙ. Program එකක් කරද්දි අපිට ඕනෙවට එපාවට කරන්න බෑ. ඒ අදාල language එක සම්බන්ධ විවිධ නීති, සම්මුති එහෙම තියෙනව. ඉතිං ඔය class එකක් declare කරගන්න විදිහ, output එකක් print කරන විදිහ, මේවා එක ක්‍රමවේදයකට තමයි ලියන්නෙ. ලෝකෙ කොහේ ඉන්න කෙනෙක් මේ java program එක ලිව්වත් ඔය වචන ටික ඔය පිළිවෙලට තියෙන්න ඕනෙ. Capital, Simple අකුරු, semicolon වෙනස් වෙන්න බෑ. මෙන්න මේ ක්‍රමවේද වලට අපි කියනව syntaxes කියල. හැම දේටම syntax එකක් තියෙනව. ඉතිං අපි ටික ටික ඒව පුරුදු වෙන්න ඕනෙ. අනිත් එක තමයි programming style එක. මේකට නම් නීතියක් නෑ. ඕනෙ නම් ඔය වචන ටික එක පේලියේම ලියාගෙන යන්නත් පුළුවන්. මේ පහල තියෙන්නෙ.
public class Test{public static void main(String[] args){System.out.println("Hello World!");}}
මෙහෙම ලිව්වා කියල program එකට හානියක් වෙන්නෙ නෑ. නමුත් මේක කියවන්න පුලුවන්ද? බෑ නේද? හදිස්සියේ වැරැද්දක් වෙලා තිබුනොත් හොයාගන්නවත් පුලුවන්ද? Class එක මොකක්ද main method එක මොකක්ද කියලවත් වෙන් කරගන්න බෑ නේද?
public class Test{
public static void main(String[] args){
System.out.println("Hello World!");
}
}
මේ code එක කොහොමද? පැහැදිලියි නේද? ඒ නිසා තමයි අපි මෙහෙම ලියන්නෙ. අපි program එකක් ලියන්න ඕනෙ ඕන කෙනෙක්ට කියවන්න පුළුවන් වෙන්න. Programmer කෙනෙක් ගෙ වගකීම වෙන්නෙ program එක ලියන එක විතරක් නෙමෙයි. ඒක maintain කරන්නත් ඕනෙ. හිතන්නකො අපි සමාගමකට software එකක් ලිව්වා කියල. ඒ සමාගම හැමදාම ඒ විදිහටම තියෙන්නෙ නෑනෙ. විවිධ දේවල් වෙනස් වෙනව. උදාහරණයක් විදිහට කිව්වොත් වෙනත් සමාගමක් මිලදී ගන්න පුළුවන්. එතකොට අපේ software එක අදාළ විදිහට වෙනස් කරන්න වෙනව. ඉතිං ආපහු මුල ඉඳන් software එක හදන්න ගියොත් ඒක ලොකු කාලයක් යන වැඩක් වගේම එහෙම කරොත් රස්සාවත් නැති වෙන වැඩක් තමා. ඒ නිසා අපි කරපු program එක වෙනස් කරන්න නම් පැහැදිලිව ලියල තියෙන්න ඕනෙ. එතකොට අපිට අවශ්‍ය කොටස විතරක් හොයාගෙන වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා දැන්ම ඉඳන් පැහැදිලිව program ලියන්න පුරුදුවෙන්න.
අපි අද කතා කරා අපි ලියපු program එකේ තිබුන දේවල් ගැන. තව programming කරන්න ඕනෙ විදිහ ගැනත් කතා කරා. අපි දැන් ඉදිරියට යන්න සූදානම්. ඊළඟ ලිපියෙන් අපි අළුත් දෙයක් ගැන කතා කරමු.
No comments:
Post a Comment